ජනමාධ්‍ය ලෝකය නිරතුරු පිරී පවතින්නේ කිසිසේත් සිදු නොවිය යුතු කම්පිත සිදුවීම් දාමයකින්ය. එනිසාම ජීවිතය ගැන ලොල් බවක් හෝ බාල පරපුරට ආදර්ශයක් ගෙන හැර පෑ හැකි නැවුම් සිද්ධියක් මාධ්‍ය ලෝකයට නිමිති ලෙස එක්වන්නේ නොමැති තරම් විරලය. තත්ත්වය එසේ තිබියදී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශ්වවිද්‍යාල ආචාර්යවරයකුව සිටියදී දෙමළ භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියන්නට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්‍ෂකයකු ලෙස විභාගයට වාඩි වූ වසර සහ විභාග මධ්‍යස්ථානය කුමක්දැයි හදිසියේ සොයා බලන්නට අපට සිදුවූයේ පිපාසයෙන් බලා සිටි ජීවිතය ගැන ලොල් බවක් ඇති කරන තවත් අපූරු විශේෂාංගයක් ලිවීමටය.
ඒ, 1943 ජනවාරි දොළොස් වැනිදා මාතර නාඳුගල තම මහගෙදරදී උපත ලද එන්.එච්.එස්. කල්‍යාණී මහත්මිය 2016 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළට ඉදිරිපත්වූ වියපත්ම පෞද්ගලික අයදුම්කාරිය ලෙස තොරතුරු තාක්‍ෂණය සහ දෙමළ භාෂාව යන විෂයයන් දෙකට මුහුණ දුන් හේතුව විමසා දේශය හි සටහන් කරන්නටය.
වත්මන් මහාචාර්ය සුනිලුන් එදා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ භාෂාව විෂයට එසේ මුහුණ දෙන්නට තීරණය කළේ ඒ වනවිට ඔහු යාපනය සරසවියේ පවා ආචාර්යවරයකු ලෙස කටයුතු කොට දෙමළ බස පිළිබඳව එතුමා සතු හසල දැනුම අධ්‍යාපන සහතිකයකින් තහවුරු කර ගැනීමට බව නොරහසකි.
එමෙන්ම සමූපකාර කළමනාකාරිණියක ලෙස හා අවසන් වශයෙන් ස.තො.ස. සේවිකාවක කටයුතු කොට විශ‍්‍රාමය ලබා සිටිනා හැත්තෑ තුන් හැවිරිදි වියපත් කාන්තාවක් 2016දී සාමාන්‍ය පෙළ තොරතුරු තාක්‍ෂණ විෂය (අයි.සී.ටී.) හා දෙමළ භාෂාව විෂයන්වලට මුහුණ දෙන්නට තීරණය කරන්නේ ඇයිදැයි සයිටම් අර්බුදයක් හමුවේ හෙල්ලුම් කා ඇති උසස් අධ්‍යාපනයක් සහිත රටෙක සියලු විද්‍යාර්ථීන්ගේ අවධානයට බඳුන් විය යුතුව තිබේ.
එන්.එච්.එස්. තේමිස් තාත්තාට සහ අබේවික‍්‍රම ගුණවර්ධන දෝන සිසිලියානා නමැති අම්මාට දාව නානායක්කාර හේවාඅතපත්තු සූරියරත්න කල්‍යාණි දැරිය මාතර හේවා නාඳුගල ආච්චි අම්මලාගේ ගෙදරදී එදා උපත ලබන්නේ මිථුන ලග්නයෙනි. දැනට මහා විද්‍යාලයක් ලෙස පවතින එදා එතරම් දියුණුවක් නොතිබුණු නාඳුගල විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උගත් කල්‍යාණි ඉගෙනීමට එතරම් උපන් හපන්කම් දැක්වූ සිසුවියක නොවේ.
අද සිය සැමියා සමඟ හුදෙකලා සැඳෑ සමයක් ගත කරනා කල්‍යාණි මහත්මිය ඔවුන්ගේ මාතර නාඳුගල නිෙවසේ ආලින්දයේදී අපව පිළිගත්තේ ඉතා හෘදයංගමවය.
‘‘වර්තමානයේ අ.පො.ස. සාමාන්‍ය පෙළට ඉඳගන්නා සිසු දරුවෙකුගේ ආත්තම්මාගේ වයසේ පසුවන ඔබ, ඇයි වර්තමාන දරුවන් හදාරණ නවීනතම විෂයක් වූ තොරතුරු තාක්‍ෂණය වගේ විෂයක් ලියන්න විභාගයට වාඩිවෙන්න හිතුවේ...?
ඒ අපේ පළමු පැනය විය. මේ ඇගේ පිළිතුරයි.
නාඳුගල ගමේ ඉස්කෝලෙට ගිය මම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ 1963දී. ඒ කාලෙත් දෙසැම්බර් මාසෙම තමයි විභාගය තිබුණේ. නමුත් මම උසස්පෙළ හදාරන්න එතරම් උනන්දු වුණේ නෑ. ඒත් 1971දී සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් පවත්වපු දහම් පාසල් අවසාන විභාගයෙන් මුහුණ දීපු විෂයන් හතරම මම සමත් වුණා. බුද්ධාගමටත් පාලි භාෂාවටත් සම්මාන සාමාර්ථ හිමිවුණා.
1972 ඉඳලා 1974 දක්වා මම ගමේ දහම් පාසල් ගුරුවරියක් ලෙසත් සේවය කළා. ඉන් පස්සේ 1976 වසරේදී මම සමුපකාර කළමනාකාරවරියක් ලෙස රැකියාවක් ලැබුණා. මුල්ම පත්වීම ලැබුණේ කෝට්ටවත්ත කියන මාතර යටියන ප‍්‍රදේශයේ එක්තරා කුඩා සමූපකාරයකටයි. ඉන්පස්සේ මම සතොස ආයතනයේ සේවයට බැඳෙන්න පුහුණුවකට ගියා. ඒ පුහුණුවට ගියේ බොරලැස්ගමුවේ ඉඳලා. එහේදි මහත්තයා මුණගැහුණා.
එයාගේ නම බී.ජී. ආරියසේන. එයාගෙ ගමත් මාතර. නමුත් අපි යෝජනාවකිනුයි විවාහ වුණේ. ඒ 1984 වසරේ ජුනි මාසයේදීයි. මහත්තයා කලක් නුවරඑළිය ප‍්‍රදේශයේ පොලිස් කොස්තාපල් කෙනෙක් ලෙස කාලයක් සේවය අයෙක්. අපිට දරුවන් නැහැ. අපි දැනට ජීවත්වෙන්නේ මගේ මවගේ මහගෙදර තිබූ ඉඩමේ තැනූ නිෙවසකයි.
කොළඹ කොටුවේ සතොස ශාඛාවේ මම සේවිකාවක් ලෙස කටයුතු කළා. එයින් විශ‍්‍රාම ගියාට පසුව මීට හය මාසයක් පමණ දක්වා මාතර ප‍්‍රදේශයේ කෘෂිරසායන අලෙවිහළකත් මා සේවය කළා. එම කාලය තුළදී මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බුද්ධික පතිරණ මහතාට අයත් සමාධි පදනමේ දෙමළ විෂය උගන්වන පන්තියකට මම සහභාගි වුණා. දෙමළ භාෂාවට මම ඇළුම් කරන්න ගත්තේ මහත්තයා නිසයි. මහත්තයා නුවරඑළිය ප‍්‍රදේශයේ රැකියාව කරපු නිසා එයාට දෙමළ බස හොඳින් හැසිරවිය හැකියි. ඒ නිසාම එයා දෙමළ රූපවාහිනී නාලිකාවක් නිතර බලනවා. මේ නිසා මමත් දෙමළ බසටත් අවධානය යොමුකරන්න පටන් ගත්තා.
මම දෙමළ බස ඉගෙන ගනිද්දී ඒ ආයතනයේම උගන්වන පරිගණක විෂය ගැනත් මගේ අවධානය යොමුවුණා. ඒ විතරක් නෙමෙයි ජ්‍යොතිෂය වගේ විෂයන් ගැනත් මගේ උනන්දුව තිබුණා. ටික කලක් මම ජ්‍යොතිෂය ඉගෙන ගැනීමටත් යොමුවී සිටියා.
ඇත්තටම පරිගණක විෂය ගැන මට තියෙන්නේ වැඩිපුරම න්‍යායාත්මක දැනීමක් පමණයි. මම ඒ වෙනුවෙන්ය කියලා විශේෂයෙන් අමතර පන්තියකට ගියේ නෑ. පොත්පත්වලින් වගේම සාමාන්‍ය පෙළ විෂය ධාරාවට අයත් පසුගිය ප‍්‍රශ්න පත‍්‍ර අධ්‍යයනය කිරීමෙන් තමයි මම වැඩිපුරම දැනුම රැස් කර ගත්තේ. මම පරිගණකය ගැන සෑහෙන පොතපත කියවූවා. නමුත් මම හිතුව තරම් මා මුහුණ දුන් සාමාන්‍ය පෙළ තොරතුරැ තාක්‍ෂණ ප‍්‍රශ්න පත්තරය මට පහසු වුණේ නැහැ. පළමුවෙනි ප‍්‍රශ්න පත‍්‍රයට පහසුවෙන් පිළිතුරු සැපයුවත් දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රය මා සිතූ තරම්ම පහසු නැහැ.
මා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ විෂයටත් පෙනී සිටිනවා. මා ගැන මාධ්‍යයේ අවධානය යොමු කෙරෙවූවේ මා විභාගය ලියූ මාතර කොටුවේගොඩ ඉල්මා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයායි. මා විභාගට මුහුණදීමට ශාලාවට ගිය අවස්ථාවේ එතුමා මා සමඟ බොහොම දිරිමත් ස්වරයකින් කතා කරලා කීවා වැඩිදෙනා මේ වයසෙදි රෝගාබාධවලින් අකර්මණ්‍යවෙලා ගිලන්ව ඉන්දැද්දී ඔබතුමිය මේ ගන්නා උත්සාහය විභාගයේ ප‍්‍රතිඵලය කුමක් වුවත් මේ ආදර්ශයම පමණක් වුවත් රටකට ප‍්‍රමාණවත්ය කියලා... එසේ කියමින් එතුමා මාව දිරිමත් කළා. මේ අවස්ථාවේ එතුමාටත් ස්තූති කරන්නට ඕනෑ.
ඒ අනුව ලබන වසරේ මම ඉලෙක්ට්‍රොනික් විෂයත් හින්දි භාෂාවත් සාමාන්‍ය පෙළට ලියන්නට බලාපොරොත්තු වනවා. ජාත්‍යන්තර පොත් මාසය වන සැප්තැම්බර් මාසේ අනිවාර්යයෙන්ම මා පොත් ගොඩාක් මිලට ගන්නවා. ලොකු ආදායමක් නැතත් සැප්තැම්බර් මාසේ පොත්වල මිලත් සියයට ගණනක් අඩු නිසා මම පොත් මිලට ගන්නවා. ඉන් මා අදහස් කරන්නේ මගේ දැනුම දියුණු කරගන්න වගේම ඒ පොත් ලියන ලේඛකයන් එයින් දිරිමත් ෙවනවා නේද කියන හැඟීමකුත් ඇතිවයි මා ඒ විදියට පොත් මිලට ගන්නේ.
අපිට දරුවන් නැතත් දරුවො ගැන විශේෂ පාළුවක් නෑ. නංගිගේ ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් දුවක් දැනට ජපානයේ ගෞරව උපාධිය හදාරලා හපුගල විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක් ලෙස සේවය කරනවා.
අපි අක්කරයක් පමණ වූ ගෙවත්තෙන් ලැබෙනා සුළු ආදායමකින් තමයි ජීවත්වෙන්නේ. මගේ නංගිගේ මහත්තයා විශ‍්‍රාමික ගුරුවරයෙක්. ඒ වගේම මගේ වැඩිමල් සහෝදරයා සතොස විශ‍්‍රාමික කළමනාකරුවෙක්. ඒ අයත් අපට ජීවත්වෙන්න උදව් කරනවා. මට කෘෂිකර්මය, ගෘහ විද්‍යාව, මැහුම් වැඩ වගේම රෙදි පින්තාරු කිරීම් වැඩත් දන්නවා. මම රෙදිපින්තාරු කිරීමේ පාඨමාලාවක්ද සාර්ථකව හදාරා තිබෙනවා. මට ඉතා ලස්සනට රෙදි පින්තාරු කළ හැකියි.
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියන උතුම් සංකල්පයට ගරු කරමින් මා හැකිතරම් දුරට ඉදිරි ජීවිතයේ අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. මේ සෑම දෙයකටම මගේ මහත්තයා උපරිම සහාය ලබා දෙනවා. මට මැහුම් පන්ති යන්න ඕනය කීවත්, රියදුරු පුහුණුව ලබන්න ඕනය කීවත් මගේ මහත්තයා ඒ හැමදේටම මට සහාය දෙනවා.
තවම මගේ අතපය වෙවුලන්නේ නෑ. දෙවිපිහිටෙන් ලෙඩරෝග කියලා විශේෂ දෙයකුත් තවම නෑ. අක්කරයක විතර ඉඩමේ ගම්මිරිස් පොල් වගේ දේවල් ටිකකුත් අපි වවාගෙන තියෙනවා. මගේ මේ හැකියාවන්ට ගැළපෙන, එකතැනක සිට කළ හැකි සුළු ස්වයං රැකියාවක් ලැබුණොත් ඒ ගැනත් මා සළකා බලනවා. නමුත් මා මේ අධ්‍යාපන කටයුතු කරන්නේ මුදල් අපේක්‍ෂාවෙන්ම නෙමෙයි. මගේ අවසාන අරමුණ කිසිවකුටත් කරදරයක් නැතිව ජීවත්වෙන්නයි.
♦ කතාව හා සේයාරූ - ආර්.ජී. ජයවර්ධන